පැය කිහිපයක් හරි ජීවත්වීමට උර දුන් ලංකාදීප විශිෂ්ඨ මාධ්‍යවේදීන්

අබුද්දස්ස කාලේ මිනිස්සු හරි වෙනස්. හරිම ආත්මාර්ථකාමි. එයට බොහෝ උදාහරණ අන්තර්ජාලයේම තිබෙනවා. නමුත් මාධ්‍යවේදීන් විදිහට අපිට කරන්න පුළුවන් වාර්තා කරන එක පමණක් නොවන බවට ලංකාදීප මාධ්‍යවේදීන් පිරිසක් ඔප්පු කලා. පහත දැක්වෙන සටහන අප උපුටා ගත්තේ ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියෙකු වන ක්‍රිෂාන් ජීවක ජයරුක් මහතාගේ මුහුණුපොතේ තිබුණු සටහනකින්.

මචං උඹ කවුරු වුනත් උඹට නිවන් සුව ..නොමිනිසුන්ගෙන් පිරි මේ සමාජයේ යලි නොඉපදේවායි උඹට පතනවා…..

අද අපේ ලංකාදීප කර්තෘ මණ්ඩල සමාජික සුහද හමුව පොල්හේන රීෆ් ගාර්ඩ්න් හෝටලයේ පැවැත්වුණා.එය අවසන් වීමට විනාඩි කිහිපයකට පෙර උඹ මුහුද අයිනට ගසා ගෙන විත් තිබුණා.උඹ මැරිලා ඇති කියලා කට්ටිය කීවා ගොඩට ගන්න එපා කියලා.මමත් තවත් කිහිප දෙනෙක් කීවා මොනවා වුනත් කමක් නෑ ගොඩට ගමු කියලා.
ඒ අනුව තමයි අපේ ලංකාදීපයේ ලහිරු හා බිගුන් ඇතුලු තවත් කිහිප දෙනෙකු උඹව ගොඩට ගත්තේ.ඒ අතරේ මම 1990 ගිලන් රථ සේවාවට කතා කරලා උඹව රෝහලට එක්ක යන්න කීවා.උඹ එක්ක ආපු කවුරු හරි ඉන්නවද කියලා මහ හයියෙන් කෑ ගහලා හෙව්වත් විනාඩි කිහිපයක් යන තෙක් කවුරුවත් ඉදිරිපත් වුනේ නැහැ.ඔන්න පස්සේ තමයි එකෙක් කීවේ අපි එක්ක ආව එකෙක් කියලා.

ඌට ගානක්වත් නෑ.අපිට පුලුවන් විදියට අපේ සෙට් එකේ කොල්ලෝ උඹේ ශරීරයේ වතුර ටික ඉවත් කරන්න කටයුතු කලා.එතන හිටපු කිහිප දෙනෙකුත් උදවු කලා.ඊට පසුව උඹව රෝහලට ගෙනයන්න අපේ එවුන් වාහනයක් ඉල්ලුවත් කවුරුවත් දුන්නේ නෑ.පාරේ එන ත්‍රී රෝද රථ නතර කරලා උදවු ඉල්ලුවත් එකෙක්වත් කැමති වුනේ නෑ.සමහර විට උඹ මැරිලා කියලා හිතං වෙන්න ඇති.එහෙම නැත්නම් උසාවි නගින්න වෙයි කියලා හිතං වෙන්න ඇති.
අපි මහ හයියෙන් කෑ ගැහුවා වාහනයක් ඉල්ලලා.ඒත් කවුරුත් නෑ.අපේ කට්ටිය බස් එකක ආපු නිසයි වෑන් එකක ආවනම් එකෙක්ගෙවත් වාහන හොයන්නේ නෑ.උඹව රෝහලට ගේනවා.කොහොම හරි උඹ ආපු සෙට් එකට තර්ජනය කරලා වගේ උන්ගේ බස් එකට උඹව දැම්මේ රෝහලට එක්ක යන්න.පොල්හේනේ ජීවිතාරක්ෂක භටයින් කීයක් ඉන්නවද ?ඒ කාටවත් උඹව පෙනිලා නෑ.ඒ උඹේ අවාසනාව නිසා වෙන්න ඇති.

බස් එකක් උඹව රෝහලට ගෙන යන්න කොපමණ වෙලාවක් යයිද මාතරට යන්න.අතරමගදී 1990 ගිලන් රථය උඹව රෝහලට රැගෙන ගොස් තිබුණා .ඒත් කරන්න දෙයක් නෑ.රෝහලට ගිය පසු උඹට පණ තියෙන බව දුරකතනයෙන් දැන ගන්නකොට අපි කාටත් ලොකු සතුටක් ආවා.ඒත් පැයකට පමණ පසු උඹ නැති වුනා කියලා දැන ගත්තම අපේ එකෙක් නොවුනත් හිතට ලොකු දුකක් දැනුනා.සමහර විට තව විනාඩි දහයක් ඉස්සර වුනානම් උඹව බේරා ගන්න තිබුණා කියලා හිතුණා.ඒත් උඹේ දෛවය ඕක වෙන්න ඇති.අපේ ලහිරු හා බිගුන් ඇතුලු සෙට් එක උඹ වෙනුවෙන් ලොකු වෙහෙසක් ගත්තා.උඹ එක්ක ආපු යාලුවෝ උඹ ගහගෙන ගියපු විත්තියවත් දන්නේ නෑ.අඩුම තරමින් උඹව ඉක්මණට රෝහලට ගෙන යන්න වුවමනාවක් උන්ට තිබුනේ නෑ.උන් බීලා හිටපු නිසා ද කියලා අපි දන්නේ නෑ.ඒත් ඔය වගේ යාලුවෝ උඹට පොල්පිත්තකින් කපා ගන්න තිබුණා.
උඹ කවුරු වුනත් උඹට නිවන් සුව..යලි මෙවැනි ආත්මාර්ථකාමී නොමිනිසුන්ගෙන් පිරි ලෝකයක නොඉපදේවායි උඹට පතනවා……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.