එයාර්පෝර්ට් එකේදී පලතුරු ටික පුච්චලා රටේ පලතුරු වගාවන් බේරන කෘෂිකාර්මික නිලධාරීන්

සුදු ඇඳුමෙන් සැරසුණු කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට අනුබද්ධ නිලධාරියෙක් අහිංසක කටහඬක් තිබෙන ජෝඩුවක ගේ ගමන් මල්ලේ තිබු පලතුරු පුච්චා දැමීමට අයින් කරන viral යන වීඩියෝවක් තමයි මේ තියෙනේ. අපේ කතාව කියවන්න කලින් මේ වීඩියෝව හොඳට බලලා ඉන්නකෝ,

අපිට හිතුනා මේ වීඩියෝව සම්භන්ධයෙන් මිනිස්සුන්ගේ නොදැනුවත්කම ගැන දැනුවත් කරන්න. දැනට වසර කීපයකට ප්‍රථමයෙන් ලංකාවේ ගස්ලබු වගාවට හානි කරන ශුද්‍ර ජීවියෙක් නිසා ලංකාවේම ගස්ලබු හිඟයක් ඇතිවුනා. හරිම අමාරුවෙන් තමයි වගාවන් ගොඩ ගත්තේ. මාස ගණනක් ගස්ලබු ගෙඩියක් හොයාගන්න නැතිවුනා.

අපි මෙහෙම හිතමු, ලෝකයේ බොහෝ රටවල්වල ජිවිත රැසක් සාර්ස් (SARS) වයිරස් එක නිසා මොලොවට අහිමි වුනා. බොහෝ රටවල් එම වයිරස් එකෙන් බේරීම සදහා තම ගුවන්තොටුපල වල විශේෂ කැමරා බාවිතයෙන් රෝගීන් රටට ඇතුල්වීම වලක්වුවා. ලංකාවේ ගුවන්තොටුපලේ සහ වාරයේ දී මෙවැනිම ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වුනා. සාර්ස් රෝගය සමග එක රෝගියෙකු හෝ රටට ඇතුල් වූවානම් ලෝකයේ අනිත් රටවලට සාපේක්ෂව ලංකාවේ වැඩි හානියක් සිදුවන්න තිබුනා.

මේ පලතුරු කතාවත් ඒ වගේම කතාවක්. අවුරුදු ගණනක් රට ඉඳලා ලංකාවට එන ගමන් දරුවන්ට කන්න අරගෙන එන අලුත්ම පලතුරුවල කරුමෙට අර වගේ ශුද්‍ර ජිවිජෙක් හිටියොත් මොකද වෙන්නේ. ලංකාවේ වගාවන් වලට දෙයියන්ගේම පිහිටයි. රටවල් අතර පලතුරු ප්‍රවාහනයේදී මෙවැනි ශුද්‍ර ජීවින් හොමරු නොවෙන විදිහට ගත යුතු ක්‍රියා මාර්ග තිබෙනවා. මේ ක්‍රියා මාර්ග පිලිබදව වැඩි විස්තර මෙතනින් ලබා ගන්න.

කටුනායක ගුවන්තොටුපල ශාක නිරෝධායන ඒකකයේ සේවයේ යෙදෙන මහේෂ් බණ්ඩාර මහතා බුකියට එකතුකරන ලද සටහනක් පහතින් කියවන්න,

1999 අංක 35 දරන ශාක ආරක්ෂණ පනත ප්‍රකාරව එළවළු සහ පළතුරැ ගුවන් මගින් මෙරටට රැගෙන ඒම සපුරා තහනම් කර ඇත.මෙහි මූලික පරමාර්ථය නම් ශ්‍රී ලංකාව තුල ඇති ශාකවලට හානිකර හෝ හිංසාකාරී හෝ විනාශකාරී යම් ජීවියකු ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ද ඒ තුල ව්‍යාප්ත කිරීමද වලක්වාලමින් මෙරට කෘෂිකර්මාන්තයද, අප රටටම අනන්‍ය වූ ජෛව විවිධත්වයද සුරක්ෂිත කරලීම වේ.බැලූ බැල්මට මෙය සරල ක්‍රියාවලියක් සේ පෙනුනද රටේ ජාතික ආරක්ෂාව හා සමානම වගකීම් සහගත කර්තව්‍යයකි . නමුත් අවාසනාවකට මෙහි ඇති වැඳගත්කම පොදු මහජනතාව තුලට සම්ප්‍රේෂණය වී ඇත්තේ සෘණාත්මක ලෙසය. එබැවින් මෙහි ඇති වටිනාකම විමසා බැලීම වටී.

තවමත් ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් වන අතරම අප රටේ ජාතික ආර්ථිකය කෙරේ එහි බලපෑම අතිශය තීරණාත්මක වන බව රහසක් නොවේ.යම් හෙයකින් දැනට මෙරට වාර්තා වී නොමැති නමුත් යම් විදේශ රටකින් පැමිණෙන ආගන්තුක පලිබෝධකයෙක් නිසාවෙන් මෙරට කෘෂිකර්මාන්තය බිඳ වැටුනහොත් එය යම්තමින් එදාවේල ෂේප් කරගනිමින් යන ජාතික ආර්ථිකයක් හිමි අප රටට “හිඟන්නාගේ පාත්තරයට සෙනසුරා පාත් වීමක්ම වන්නේය”.

වාසනාවකට මෑතකාලීනව එවන් බරපතල ගණයේ කටුක අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු නොවුනද ඉතිහාසය විමසා බැලීමේදී අධිරාජ්‍යවාදී පාලන සමයේදී කෝපි මලකඩ රෝගයෙන් (Hemileia vostartix) මෙරට කෝපි වගාව මුළුමනින්ම පාහේ විනාශ විය. ඉන් පසුකාලීනව බිබිලේ පැණි දොඩම් වගාවට ට්‍රිස්ටෙසා වෛරසයෙන්ද(Tristeza virus), අර්තාපල් වගාවට කෝෂ්ඨ වටපණු (Globodero rostochienise) හානියද, රිදී කබලු රෝගයද (Helmenthosporium solani) පැපොල් වගාවට පැපොල් පිටි මකුණාගේ (Paracocous marginatus)හානියද, වර්තමානයේ පොල් වගාවට සම්බන්ධ “වැලිගම මැලවීම” හා ඇසේරියා මයිටා හානියද, පොල් කුහර කුරුමිණියාගේ හානියද, එළවළු වගාවට යෝධ අප්‍රිකානු ගොළුබෙල්ලාගේ හානියෙන්ද මෙරට කෘෂිකර්මාන්තයටද සැලකිය යුතු අන්දමේ බලපැමක් එල්ල විය.

එබැවින් විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන සහෘද ජනතාවට කාරුණිකව මතක් කල යුත්තේ ඔබ, ඔබගේ ආදරණීයන් වෙනුවෙන් ගමන් මල්ලේ හෝ ඇඳුම් අතර සඟවා ගෙන ගුවන් තොටුපල බලධාරීන්ගේ ඇස් වසා ගෙන එන ඇපල් ගෙඩිය,මිදි ගෙඩිය, දොඩම් ගෙඩිය තුල මෙරට කෘෂිකර්මාන්තය පමණක් නොව අන් කිසිදු රටකට උරැමකම් කිව නොහැකි අපටම අනන්‍ය වූ ජෛව විවිධත්වය වනසන මීලඟ ආගන්තුක පලිබෝධකයා ඇතුලත් විය හැකි බවයි….තම ආදරණීයන්ගේ තාවකාලික සතුට වෙනුවෙන් ඔබ කරන එකී නීතිවිරෝධී ක්‍රියාව වෙනුවෙන් වන්දි ගෙවීමට සිදු වන්නේ ඇතැම් විට නූපන් මතු පරම්පරාවට විය හැකිය. එබැවින් ඔබ අප මාතෘ භූමියට සැබැවින්ම ආදරය කරන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “දේශප්‍රේමීයෙකු” නම් නීතියට අනුගත වෙමින් විදෙස්ගතව සිට මෙරටට පැමිණීමේදී එළවළු හෝ පළතුරැ රැගෙන ඒමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

– මහේෂ් බණ්ඩාර, ශාක නිරෝධායන ඒකකය,ගුවන් තොටුපල, කටුනායක –

හිතේ අමාරුවට බුකියට එකතුකරන ලද වීඩියෝව viral වුනේ මිනිස්සුන්ගේ නොදැනුවත් බාවය නිසාමයි. එක එක Page ඇඩ්මින්ලා හිට් එක වෙනුවෙන් “කුඩු, එතනෝල් වගේ නෙමෙයි පළතුරු…” යනුවෙන් වීඩියෝව පලකලේ එයාලගේ නොදැනුවත් බව නිසයි. අපි හිතනවා ඔබට දැන් මේ ගැන හොඳ හැටි වැටහීමක් ඇති කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.